අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනම් කරපු එකම වෘක්ෂයයි.
හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ. තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී මලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි.
පැරැන්නෝ මෙවැනි ප්‍රයෝජන රාශියක් අත්කරගත් මී ගසට විශේෂ ස්ථානයක් ලබා දී තිබුණි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වී ඇත. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගනී. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵලය වන්නේ මිනිසා රෝගියෙකු කිරීමයි.
සටහන: රජරට අනුරාධ තෙන්නකෝන්